Hosting (1)

What Is Web Hosting

Website එකක් පටන් ගන්න යන කෙනෙක්ට අවශ්යම දෙයක් තමයි Hosting කියන්නේ. එත් අලුතෙන් වෙබ් අඩවියක් ආරම්භ කරන්න යන බොහොමයක් දෙනෙක්ට තියෙන ප්රශ්නයක් තමයි Web hosting එකක් කියන්නේ මොකක්ද සහ නිවැරදිව තමන්ට ගැලපෙන පරිදි Web Hosting Service එකක් තෝරාගන්නේ කොහොමද කියන එක.

 

◾ මොකක්ද මේ Web Hosting එකක් කියන්නේ?

Web Hosting යනු සරලවම කියනව නම් යම් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට තමන්ගේ වෙබ් අඩවියක් අන්තර්ජාලයට එකතු කරන්න උපකාරී වෙන සේවාවක් තමයි වෙබ් හොස්ටින් එකක් කියන්නේ. මෙතැනදී අපිට ඉන්නවා වෙබ් හොස්ටින් සේවා සපයන්නෙක්. මේ වෙබ් හොස්ටින් සේවා සපයන්නා ව්යාපාරයක් විදිහට අපිට වෙබ් අඩවියක් අන්තර්ජාලයේ පල කරන්න අවශ්ය තාක්ෂනය සහ සේවාවන් සපයනවා. තව විදිහකට කියනවා නම්. අපිට වෙබ් අඩවියක් අන්තර්ජාලයේ පල කරන්න අපේ වෙබ් අඩවියට අදාළ දත්ත එහෙමත් නැත්නම් අපේ වෙබ් අඩවියේ ෆයිල්ස් අන්තර්ජාලයට සම්බන්ධ සර්වර් එකක ඒ කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ පරිඝණකයක තැන්පත් කරන්න වෙනවා. වෙබ් හොස්ටින් එකක් කියන්නේ මෙන්න මේ සර්වර් එකක අපි ලබාගන්නා ඉඩට. ඒ වගේම වෙබ් හොස්ටින් සේවා සපයන්නා කරන්නේ අපිට ඔවුන්ගේ සර්වර් එකක ඉඩ ලබාදීලා ඒ වෙනුවෙන් යම් මුදලක් අපෙන් අය කරන එක.
 
අපි වෙබ් හොස්ටින් සේවා සපයන්නෙකුගෙන් ලබා ගන්නා ඉඩ තුල අපේ වෙබ් අඩවියට අදාළ දත්ත ගොනු ගබඩා කරනු ලබනවා. ඊට පස්සේ යම් පුද්ගලයෙක් අපේ වෙබ් අඩවියේ ලිපිනය මගින් අපේ වෙබ් අඩවියට පිවිසීමට ඉල්ලීමක් කරනකොට අපේ හොස්ට් එක මගින් ඒ සඳහා අවශ්ය දත්ත ගොනු සැපයීම සිදු කරනවා. ඒ කියන්නේ අපේ වෙබ් අඩවියේ ලිපිනය මගින් අපේ වෙබ් අඩවියේ දත්ත ගබඩා කරන පරිගණකයට (Server) සම්බන්ධ වෙලා එහි ගබඩා කරල තියෙන දත්ත වෙබ් අඩවියට පිවිසෙන්නාට වෙබ් බ්රවුසරය හරහා දර්ශනය කිරීම සිදු කරයි. මිට අමතරව ඔබ විසින් ලබා ගත්ත වෙබ් හොස්ටින් එක පාලනය කිරීමට සේවා සපයන්නා විසින් ඔබට පාලක මුහුණතක් ලබා දෙනවා මෙය හඳුන්වන්නේ cPanel එක යනුවෙන්. මෙමගින් ඔබට ඔබට ලබා දී ඇති ඉඩ ප්රමාණය තුල අවශ්ය වෙනස්කම් සහ ලබා දී ඇති පහසුකම් භාවිතා කල හැකි වෙනවා.
 
අන්තර්ජාලය තුල වෙබ් හොස්ටින් සේවා සපයන්නන් දහස් ගණනක් සිටිනවා. ඔබට වෙබ් හොස්ටින් එකක් ලබාගැනීම අවශ්ය නම් ඔබ කල යුත්තේ වෙබ් හොස්ටින් සේවා සපයන්නෙකුගේ වෙබ් අඩවියකට පිවිස එහි තිබෙන පැකේජ අතුරින් ඔබට අවශ්ය හොස්ටින් වර්ගය සහ අවශ්ය පහසුකම් සහිත පැකේජය තෝරා අදාළ මුදල ගෙවීම පමණයි.
 
හොස්ටින් සේවා සපයන්නන් සාමාන්යයෙන් හොස්ටින් වර්ග කිහිපයකින් හොස්ටින් ලබා දීම සිදු කරනවා. හොස්ටින් වර්ගය තීරණය වෙන්නේ ඔබ විසින් ඔබේ වෙබ් අඩවියේ දත්ත ගබඩා කිරීමට තෝරාගන්න සර්වර් එක අනුවයි. Shared Hosting, Dedicated Hosting, VPS hosting, Cloud Hosting යනුවෙන් ප්රධාන හොස්ටින් වර්ග කිහිපයක් තියෙනවා.

 

◾ දැන් අපි බලමු මොනවද මේ හොස්ටින් වර්ග කියලා.

1.Shared Hosting:
Shared හොස්ටින් එකක් කියන්නේ එකම සර්වර් එකක් කොටස් වලට බෙදල කිහිප දෙනෙක් හවුලේ භාවිතා කරන හොස්ටින් එකකට. ඒ කියන්නේ මේ සර්වර් එක තුල අඩංගු වෙන්න් ඔයාගේ වෙබ් අඩවියේ දත්ත විතරක්ම නෙවෙයි. තවත් අයගේ වෙබ් අඩවි වලට අදාළ දත්ත මේ සර්වර් එකේ වෙන වෙන කොටස් වල ගබඩා කරල තියෙනවා. හාඩ් එකක C/D/E/F වගේ කොටස් වලට වෙන් කරලා වෙන වෙනම දත්ත ගබඩා කරනවා වගේ වැඩක් තමයි මෙතනදී සිදු වෙන්නේ. ඒ වගේම පොදුවේ භාවිත කරන නිසා පාරිභෝගියාට සර්වර් එකේ සම්පත් වලින් සීමිත ප්රමාණයක් තමයි භාවිතයට අවසර ලැබෙන්නේ. මේ හොස්ටින් වර්ගය තමයි වැඩියෙන්ම ජනප්රිය සහ සාපේක්ෂව අඩු මිලකට ගන්න පුළුවන් හොස්ටින් වර්ගය වෙන්නෙත්.
2. Dedicated Hosting:
තමන්ටම කියලා වෙනම සම්පුර්ණ සර්වර් එකක්ම ගන්න එක තමයි මෙතනදී සිද්ද වෙන්නේ. මේකෙදි ඔයාට සර්වර් එකේ සම්පුර්ණ පාලනය ලබා දෙනවා. Shared Hosting එකකදී සේවා සපයන්නා විසින් ඇතුලත් කරලා තියෙන මෘදුකාංග සහ විශේෂාංග විතරයි අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ නමුත් Dedicated Hosting එකකදී තමන්ට අවශ්ය ඕනෑම මෘදුකාංගයක් හෝ ඕනෑම දෙයක් සර්වර් එකට ඇතුලත් කිසිමේ පහසුකම භාවිතා කරන්නාට ලැබෙනවා. මේ හොස්ටින් වර්ගය ඉතාම මිල අධිකයි.
3. VPS Hosting:
shared හොස්ටින් එකකට අකමැති Dedicated හොස්ටින් එකක් ගන්න තරම් වත්කමක් නැති කෙනෙක්ට ගැලපෙනම හොස්ටින් වර්ගය තමයි VPS Hosting කියන්නේ. මේකෙදි වෙන්නේ දත්ත මධ්යස්ථානයක තියෙන සර්වර් එකක කොටසක් එයටම වෙන් වූ මෙහෙයුම් පද්ධතියක් සහ එයටම වෙන් වූ දෘඩ තැටියක්(හාඩ් එකක්) සහිතව ක්රියාත්මක වෙන හොස්ටින් එකකට. මෙහෙදී ඇත්තට එක පරිගණකයක් තුල අතත්ය(Virtual) ආකාරයෙන් තවත් පරිඝණයක් නිර්මාණය කිරීමක් තමයි සිදු වෙන්නේ. මෙහිදී භාවිතා කරන්නට ලබා දී තිබෙන ඉඩ ප්රමාණය තුල Dedicated හොස්ටින් එකක මෙන් තමන්ට අවශ්ය පරිදි අවශ්ය කටයුතු කරගැනීමේ හැකියාව ලැබෙනවා. මෙය Dedicated හොස්ටින් එකක් තරම්ම මිල නොවුනත් Shared හොස්ටින් එකකට වඩා තරමක් මිලෙන් වැඩි තේරීමක් වෙනවා.
4. Cloud Hosting:
කියන්නේ මොකක්ද කියන්න කලින් අපි Cloud එකක් කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරගෙන ඉමු. ඇත්තටම Cloud එකක් කියන්නේ භෞතිකව පෙන්නන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි සර්වර් එකක් ගත්තොත් මෙන්න මේක Dedicated සර්වර් එකක් කියලා කියන්න පුළුවන් උනත් Cloud එක එහෙම පෙන්නන්න බැහැ. Cloud එකේදී සිද්ද වෙන්නේ අපේ යම් දත්තයක් ලෝකේ පුරා තිබෙන පරිඝනක කිහිපයකම ගබඩා වෙන එක, එතකොට අපිට ලෝකේ ඕනෑම තැනක ඉඳල අන්තර්ජාල සබන්ධතාවක් භාවිතා කරලා මේ දත්ත පරිශීලනය කරන්න පුළුවන්.
 

◾ Web Hosting එකක් ලබාගැනීමේදී සලකා බැලිය යුතු කරුණු

ඔබ යම් Hosting සේවා සපයන්නේකුගෙන් Hosting එකක් ලබාගැනීමේදී ඔබේ අවශ්යතාවයන්ට ගැලපෙන පරිදි එම තෝරාගැනීම් සිදු කල යුතු වෙනවා. මෙහෙදී ඔබට අවශ්ය සහ සේවා සපයන්නා ලබා දෙන පහසුකම් මොනවාදැයි බැලීම වැදගත් වෙනවා.
 
▪ Storage – වෙබ් හොස්ටින් එකක ප්රධාන වශයෙන්ම වැදගත් වෙන කරුණ තමයි ඔබට ලැබෙන ධාරිතාව. මෙහෙදී සාමන්යෙන් 500MB සිට ධාරිතාව අනන්තය දක්වා ධාරිතාවන් සේවා සපයන්නන් විසින් ලබා දෙනු ලබනවා. මෙහිදී 500MB , 1 GB හෝ වෙනත් GB ප්රමාණයක් ලබා දීම ප්රයෝගික වූවත් සීමා රහිත (Unlimited) යන්නෙහි එතරම් සත්යතාවයක් නැති බව ඔබට සිතෙන්න පුළුවන්. බොහෝ විට Unlimited ධාරිතාවයක් ලබා දෙනවා යැයි පවසන සේවා සපයන්නෙක් ඇත්තටම ඔබට 25 GB හෝ 50 GB වැනි ප්රමාණයක ඉඩක් තමයි ලබා දෙන්නේ. සාමාන්යයෙන් වෙබ් අඩවියකට වැය වන උපරිම ධාරිතාව 2GB පමණ වන නිසා ඔවුන් ලබා දෙන ධාරිතවයෙහි අඩුවක් පාරිභෝගියාට දැනෙන්නේ නැහැ. යම් අවස්තාවක Unlimited ලබා දෙන පැකේජයක ධාරිතාව ඔවුන් ලබා දෙන ප්රමාණය ඉක්මවා ගියොත් වහාම ඊට වැඩි ප්රමාණය ඉඩක් වෙන් කිරීමට සේවා සපයන්නන් වග බලාගන්නවා. මේ නිසා unlimited ධාරිතාවක් ඇති පැකේජයක් ලබා ගැනීම ඔබට වාසිදායක වෙන්න පුළුවන්.
 
▪ Bandwidth – මාසයක් තුල ඔබට භාවිතා කල හැකි දත්ත ප්රමාණය තමයි මෙයින් අදහස් වෙන්නේ. මෙහෙදිත් සේවා සපයන්නන් විවිධ ප්රමාණයේ bandwidth සහිත පැකේජ ලබා දෙන අතර unlimited bandwidth සහිත පැකේජද ඒ අතර වෙනවා. මෙහිදීත් සිදු වන්නේ ඉහත සඳහන් කල unlimited ධාරිතාවය ලබා දීමේදී සිදු වන ක්රියාවලියමයි ඔබගේ මාසික දත්ත භාවිතය වැඩි වන තරමට ඔවුන් ඔබේ bandwidth ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරනවා. unlimited bandwidth එකක් සහිත පැකේජයක එහෙම උනත් ඔබ යම් සීමාවකට යටත් පැකේජයක් ලබාගත්තේ නම් ඔබගේ එම සීමාවට වැඩ දත්ත භාවිතය වැඩි වූ මොහොතේම ඔබේ වෙබ් අඩවිය ක්රියාවිරහිත වෙනවා. මේ නිසා ඔබේ වෙබ් අඩවියේ භාවිතය අනුව ගැලපෙන තරමක් වැඩි bandwidth එකක් තෝරා ගැනීම සුදුසු වෙනවා.
 
▪ Backup පහසුකම – හදිසියේ හෝ ඔබ විසින් ගබඩා කරන ලද දත්ත විනාශ වීමක් හෝ මැකී යාමක් සිදු උනොත් ඒවා නැවත ලබාගැනීමට වෙනත් තැනක backup කර තිබීම වැදගත් වෙනවා. මේ නිසා සේවා සපයන්නා විසින් backup පහසුකම ලබා දෙනවාද සහ ලබා දෙන්නේ නම් එහි සීමාවන් මොනවාදැයි දැනුවත් වී සිටිය යුතු වේ.
 
Uptime – සර්වර් අප්ටයිම් යනුවෙන් හඳුන්වන්නේ සර්වර් එකදිගට ක්රියාවිරහිත වීමකින් තොරව ක්රියාකාරීව පවතිනා කාලයේ ප්රතිශතයට. කාලයෙන් 99.9%ක් ම ක්රියාකාරිව තිබෙන බවට සහතිකයක් ලබා දෙන සේවා සපයන්නේකුගෙන් සේවාව ලබාගැනීම සුදුසු වෙනවා.
 
▪ව්යාපාර වල නිරත වී ඇති කාලය – සේවා සපයන්නා වැඩි වසර ගණනක් ව්යාපාර වල නිරත වී ඇත්නම් විශ්වසනීයත්වය පිලිබඳ යම් අදහසක් ලබාගන්න පුළුවන්
 
▪පාරිභෝගිකයන් – සේවා සපයන්නා විසින් මේ වන විට පාරිභෝගිකයන් කි දෙනෙකුට සේවා සපයනවා ද යන්න සොයා බැලීම වැදගත් වෙනවා.
 
▪පාරිභෝගික අදහස් – සේවා සපයන්නා පිලිබඳ සේවා ලබාගත් පාරිභෝගිකයන් විසින් ලබා දී ඇති අදහස් විමසා බැලීම මගින්ද ඔබට සේවා සපයන්න පිලිබඳ සහ ලබා දෙන සේවාව පිලිබඳ අදහසක් ලබා ගත හැකි වෙනවා.
 
▪සහය – සේවා සපයන්න විසින් පාරිභෝගිකයන්ට ලබා දෙන සහය පිලිබඳ අවධානය යොමු කල යුතු වෙනවා. සාමන්යෙන් හොස්ටින් සේවා සපයන්නෙක් 24/7 ඕනෑම වෙලාවක සහය ලබා දීමට සුදානම් ව සිටිය යුතු වෙනවා.
 
▪අමතර සේවාවන් – සාමන්යෙන් වෙබ් හොස්ටින් එකක් මිලදී ගැනීමේදී Email , විවිධ අමතර සේවාවන් රැසක් ලබාගත හැකි වෙනවා. මේ නිසා ඔබ සේවා සපයන්නෙක් හෝ පැකේජයක් ලබා ගැනීමේදී ලබා දෙන අමතර සේවාවන් පිලිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
 

◾ තමන්ට ගැලපෙන හොස්ටින් පැකේජයක් තෝරාගන්නේ කොහොමද?

ඉහත සඳහන් කරපු කරුණු සියල්ලම්ම සැලකිල්ලට ගෙන ඔබ පැකේජයක් තෝරා ගැනීම සිදු කල යුතු වෙනවා. ප්රධාන ලෙසම ඔබගේ අවශ්යතාවය ගැලපෙන හොස්ටින් එකක් තෝරාගැනීම වැදගත්. මොකද ඔබේ වෙබ් අඩවිය විශාල පිරිසක් දිනකට පිවිසෙන වෙබ් වෙබ් අඩවියක් නම් අඩු ධාරිතාවන් සහිත පැකේජයක් තෝරාගනිම සුදුසු වෙන්නේ නෑ. ඒ වගේම තමයි සුළු පිරිසක් භාවිත කරන වෙබ් අඩවියක් නම් විශාල ධාරිතාවක් සහිත පැකේජයක් ලබාගනිමේන් වාසියක් ලැබෙන්නෙත් නැහැ. මේ නිසා ඔබේ වෙබ් අඩවියේ ස්වභාවය සහ වෙබ් අඩවියේ අවශ්යතා වගේම ඔබට ඒ සඳහා දැරිය හැකි වියදම සැලකිල්ලට ගෙන එයට අවශ්ය ධාරිතාව හොස්ටින් වර්ගය ආදී කරුණු තීරණය කිරීම වැදගත්.
 
බහුතරයක් දෙනා බලාපොරොත්තු වෙන්නේ පුංචියට වෙබ් අඩවියක් ආරම්භ කරන්න. Google AdSense, Affiliate Marketing හෝ Company සදහා නිර්මාණය කීරීමට යන පුංචි වෙබ් අඩවියක් සදහා ඔබට Shared Hosting Plan එකක් භාවිතා කළ හැකිය. කාලයත් සමග ක්රමයෙන් ඔබේ වෙබ් අඩවිය වර්දනය වන විට සහ ඔබේ වෙබ් අඩවියට එන පිරිස ක්රමයෙන් වැඩි වන විට ඔබට ඊට වඩා ධාරිතාවයකින් යුත් Shared Hosting එකක් හෝ ඊට වඩා සෑම අතකින්ම හොද Cloud Hosting හෝ VPS Hosting එකක් වෙත මාරු විය හැකියි.
 
ඔබ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ තරමක් විශාල Website එකක් නම් Cloud Hosting හෝ VPS Hosting එකක් එක වරම යොදාගැනීම ඔබට පහසුවක් වේවි. සුළු කාලයක් තුළ වැඩි Visitors ලා පිරිසක් ඔබේ Website එකට පැමිණෙන්නේ නම් VPS Hosting එකක් වඩාත් හොද වේවි.

Add a Comment

Your email address will not be published. Required fields are marked *